Gossips

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 455ක ණය ආධාරයක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ එකගතාව පළකර තිබෙනවා.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) සමග පැවති සාකච්ඡාවේදීයි මෙම එකගතාවය පළ කර ඇත්තේ.
අමරිකානු ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට එකගතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සදහා කුලූනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සදහායි.
එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකගතාවය පළ කෙරුණා.
නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකගතාවය පළ වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම එකගතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ අතර අත්සන් තැබීම ද එහිදී සිදුවුනා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළේ වර්තමානයේදී ශ්‍රී ලංකාව දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම යන ප්‍රධාන අභියෝග දෙකට මුහුණ දී ඇති බවයි.
ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බවයි ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා එහිදී සඳහන් කළේ.
ශ්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන උවදුරුවලින් පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද මතුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළකර තිබෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාට පැහැදිළි කර තිබෙනවා.
එහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්ක මුළුමනින්ම සම්පූර්ණ නොවුණත් මේවන විට ශ්‍රී ලංකාවට හොඳ ආර්ථික වර්ධන වේගයක් අතකර ගැනීමට එම වැඩපිළිවෙළ තුළින් හැකියාව ලැබී තිබෙන බවයි.
බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවලින් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙමින් පවතින සහය අඛණ්ඩ ව ඉදිරියට ලබාදීමට කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී සහය දැක්වීමට අපේක්ෂා කරන බවයි ඔහු කියාසිටියේ.
කුඩා හා මධ්‍ය පරිමාණ කාෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය ඇති කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.
එමෙන් ම වර්තමානයේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය ඇගැයීමට ලක් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව ප්‍රකාශ කළා.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා.