Gossips

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුවට අයිතියක් නැහැ – විපක්ෂ නායක කියයි

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සේනා දළඹුවා හේතුවෙන් විනාශ වූ වගා හානි සඳහා වන්දි ලබාදීමටද වහා කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවනු ලැබුවා.
මෙහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ දැනට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගැනීම සඳහා සිය සේවාදායකයන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවයි.
එලෙස උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දින ලබා දෙන ලෙසට ද නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි මස 06 වනදා යලි කැඳවීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.
එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ එවකට අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරිය නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම ද අද යලි කැදවනු ලැබුවා.
පසුව එය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් තැබුණා.