Gossips

කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් උතුරට

උතුර සහ නැගෙනහිර පළාත්වල ආර්ථික සමාජ සහ යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.
ක්‍ෂේත්‍ර 4 ක් ඔස්සේ කඩිනම් ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කෙරෙන අතර, වැය කෙනෙ මුදල රුපියල් මිලියන 2,000 ක්.
මේ අතර කිලිනොච්චි, වවුනියාව සහ පේදුරුතුඩුව රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
එහි ඇස්තමේන්තු ගත පිරිවැය යුරෝ මිලියන 54.45 ක් වන අතර, එම ආයෝජනයෙන් සියයට 75 ක් සඳහා ණය පහසුකම් නෙදර්ලන්ද ආයතනයකින් හිමිවන බව සඳහන්.
ඉතිරි සියයට 25 ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රධානයක් වන අතර, ව්‍යාපෘතිය සඳහා උතුර පළාත් සභාවේ සහයද ලබාගැනීමට අපේක්ෂිතයි.
හානියට පත්වීම නිසා භාවිතයට නොගෙන තිබෙන යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකටද අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2350 ක්.
එසේම යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි නාගරික වෙළඳපොල, උද්‍යාන සහ තවත් ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීමට අදාළ උපදේශන කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පිරිනැමීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රිය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතියටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කොළඹ සහ ගම්පහ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීමට මෙන්ම බැලූම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1500 ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.