Gossips

හෙට කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු

දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම හෙට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විශය පථයන්ද වෙනස්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයත් සමග කැබිනට් සංශෝධනයක් පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා.
එය සිදුවන දිනවකවානු පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් අවස්ථා කිහිපයකදීම අදහස් පල කළත් ඇතැමුන් චෝදනා කළේ අදාළ සංශෝධනය කල් යෑමට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් බවටයි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය තනතුරු අත්හැරීමට අකමැති වීම, ඇතැම් අමාත්‍යවරුන් වගකීම් අධික අමාත්‍යධුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් කැබිනට් අමාත්‍යධුර ඉල්ලාසිටීම වැනි කාරණා මෙම
සංශෝධනය කල් යෑමට හේතු වූ බවයි.
දේශපාලන ආරංචිමාර්ගවලට අනුව හෙට පෙරවරු 11ට පමණ අදාළ කැබිනට් සංශෝධනය සිදුවන අතර එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් විශය පථයන්වලද වෙනස්කම් සිදුවීමට නියමිතව තිබෙනවා.
මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන ඇමති මණ්ඩල සංශෝධනය ලෙසයි සැලකෙන්නේ.
ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ අමාත්‍යධුර එකිනෙක හුවමාරු කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම අමාත්‍යධුරය වෙනත් අයෙකුට පැවරීමටත් නියමිත බව වාර්තා වනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති අතර තවමත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නීතිය හා සාමය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සාගල රත්නායක මහතා තීරණය කිරීම හේතුවෙන් එම ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට තීරණය වී ඇතත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය විරෝධය පල කිරීම හේතුවෙන් එම තීරණය මතභේදාත්මක තත්ත්වයක පවතිනවා.
රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසුවේ එස්.බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු, යන අමාත්‍යවරුන්ගේ ධුරයන්ද වෙනස්වීමට නියමිත අතර තිලක් මාරපන මහතා දරණ විදේශ කටයුතු අමාත්‍යධුරයත්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දරණ වනජීවී අමාත්‍යධුරයත් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බවයි.
අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් සඳහා කැබිනට් නොවන අමාත්‍යධුර පිරිනැමෙනු ඇති බවද ඔහු සඳහන් කළා.
දේශපාලන ආරංචිමාර්ග පැවසුවේ තලතා අතුකෝරළ මහත්මිය යටතේ පවතින විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය ඇගෙන් ඉවත් කිරීමටත්, මංගල සමරවීර මහතා දරණ ජනමාධ්‍ය අමාත්‍යධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙකු වෙත ලබා දීමටත් සූදානමක් පවතින බවයි.
මේ අතර, කැබිනට් සංශෝධනය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.