Gossips

පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ වාර්තාව නීතිපතිට

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇතිවූ ගැටුම පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි සතියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතයි.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මේ වනවිට විදෙස් ගතව සිටින කථානායක කරූ ජයසූරිය යළි පැමිණි පසු අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ඇති බවයි.
පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ අවසන් වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවද ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තු සභා ගර්භයේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුව මීට පෙර අවස්ථා 10 කට ආසන්න සංඛ්‍යාවක් රැස්වූ අතර, ගැටුමට සම්බන්ධ සී සී ටී වී දර්ශන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සෙසු පුද්ගලයින්ගේ ප්‍රකාශ ලබාගැනීමද සිදු කරනු ලැබුවා.
මීට අමතරව අදාළ සිද්ධිය පිළිබඳ පොලීසියද පරීක්ෂණ සිදුකළ අතර, එම පොලිස් ප්‍රධානීන්ද මීට සති දෙකකට ඉහතදී විමර්ශන සිදුකරන නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව හමුවට කැඳවනු ලැබුවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ තවදුරටත් අවශ්‍යතාවක් පවතින්නේ නම් සවිස්තර වාර්තාවක්ද සකස් කිරීමට අවධානය යොමුව ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ ගැටුමේදී සිදුවූ දේපළ හානිය සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවූ අතර, පසුව මෙම කමිටුව විසින් නිගමනය කළේ එහි දෝෂ පවතින බවයි.
ඒ අනුව එම වාර්තාවද යළි කැඳවූ අතර, ඒ සියලූ කරුණු කථානායකවරයා වෙත භාරදෙන අවසන් වාර්තාවට ඇතුළත් කරන බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ.