Gossips

නව ව්‍යවස්ථාව මුල් අවස්ථාවේදීම පරාජය කළ යුතු බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ, විදේශ බලවේගවලට අවශ්‍ය පරිදි බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පවසනවා.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කමිටු වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 5 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණු අතර, එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවයි.
එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද අදහස් දක්වා සිටි අතර, ඔහු කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුජාත භාවයක් නොමැති බවයි.
ඒ අනුව මහ මැතිවරණයකට එළඹී එම යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා අභියෝග ඉදිරිපත් කළා.
මතභේදයට තුඩුදී ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් එය සම්මත වීමටත් ප්‍රථමයෙන් එය ගෙන ඒම වැළැක්විය යුතු බවයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සියලූ ජනතාවට එක්ව ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය විය යුතු බවයි.