Gossips

ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරිය, යළි පක්ෂ නායකයන්ට – විපක්ෂයෙන් අදත් විරෝධය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරි කටයුතු මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.
ඒ අනුව යළි එම මණ්ඩලය රැස්වන දිනය ද පක්ෂ නායකයන් තීරණය කරනු ඇති බවයි ඔහු සදහන් කළේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වූ අතර, එහිදී ව්‍යවස්ථා සම්පාදනයට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් වූ වාර්තා 5ක් ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.
කෙසේ වෙතත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුව තුළ සුජාතභාවයක් නොමැති බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළා.
පැය දෙක හමාරක් පමණ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අද (11) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී පාර්ලිමේන්තු කාරක සභා 5ක් සඳහා සාමාජිකයින් නම් කිරීම ද සිදුකෙරුණා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා මෙලෙස සාමාජිකයින් නම් කරන බවයි.
පසුව ඊට සභාවේ අනුමැතිය හිමි වූ අතර, කෝප් කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඇතුළත් වනවා.
මේ අතර, රාජ්‍ය ආයතන රැසක සේවකයන් පිරිසකට ලබාදී ඇති ස්ථාන මාරු සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
ඊට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පිළිතුරු ලබාදුන් අතර, සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ද මැදිහත් වුණා.