Gossips

ශ්‍රී ලංකාවට අද ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් උදෑසන 11.30 ට ඕක්ලන්ඞ් හිදී තරඟය ආරම්භ වන අතර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.
නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරඟ 5 න් හතරකින්ම පරාජයට පත්වූ අතර, එක් තරගයක් පමණක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
මේ නිසා අද තරගය ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ සටනක් වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් පසුගිය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5 න් හතරකින්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
නවසීලන්ත නායක කේන් විලියම්සන් අද තරගයට සහභාගි නොවන අතර, ටිම් සවුති කණ්ඩායම මෙහෙයවනු ඇති.
ධනුෂ්ක ගුණතිලක කායික ආබාධයකට ලක්වීම නිසා කුසල් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂිතයි.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක කරුණු දෙකක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
ඉන් පළමු කරුණ වන්නේ නවසීලන්ත කණ්ඩායම අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරග 10 න් 9 ක්ම පරාජය වී සිටීමයි.
අනෙක් කරුණ වන්නේ එක්දින තරඟයේ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ භීතිකාව වූ ජේම්ස් නීෂම් ආබාධයක් හේතුවෙන් අද තරඟයට එක්වීමයි.
කෙසේ වෙතත් ඇතැම් විචාරකයන් පෙන්වාදෙන්නේ නීෂම්ගේ අඩුව පුරවමින් ඕනෑම අවස්ථාවක ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ හැකි පිතිකරණ ලැයිස්තුවක් නවසීලන්තය සතු බවයි.
එහිදී කණ්ඩායමේ නිත්‍ය නායකයා වන කේන් විලියම්සන් සහ පන්දුයවන ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් දෙදෙනාවම විවේක ගන්වා නවසීලන්ත පිලේ නායකත්වය ටිම් සවුති වෙත පවරා ඇතත් මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ සහ රොස් ටේලර් වැනි අධිවේගී පිතිකරුවෝ නවසීලන්ත පිලට එක්ව සිටිනවා.
කෙසේ වෙතත් එක්දින තරගාවලියේ තරඟ තුනකදී ලකුණු 123 ක් ලබාගත් නීෂම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගත්තේ පන්දු 100 කට ලකුණු 219.64 ක ප්‍රවේගයකින්.
එපමණකින් නොනැවතුණු නීෂම් පන්දු රැකීමේ මෙන්ම පන්දු යැවීමේද දක්ෂයෙකු බව පෙන්වමින් ලකුණු 20කදී කඩුලු 6 ක් දවාගැනීමටද නීෂම් සමත් වුවා.
එවන් ක්‍රීඩකයකු ප්‍රතිවාදී පිලේ නොසිටීමේ සහනය අද ශ්‍රී ලංකාවට දැනෙනු ඇති.
මේ අතර ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන පිටියේදී පවතින කෙටි හතරේ සීමාව වෙතද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.
ඒ පසුගිය ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟයකදී එම පිතිකරුවන් ලකුණු 245 ක වාර්තාගත හඹා යාමක නිරත වූයේද මෙම ක්‍රීඩාංගණයේදී වීම හේතුවෙන්.
ඒ අනුව බොහෝ දෙනෙකු පවසන අන්දමට අද තරඟය ප්‍රවේගකාරී පිතිකරුවන්ට වැඩි වාසියක් අත්කරදෙනු ඇති.
මෙම තරඟයට නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක),
නිරෝෂන් දික්වැල්ල,
ධනුෂ්ක ගුණතිලක,
කුසල් ජනිත් පෙරේරා,
දිනේෂ් චන්දිමාල්,
අසේල ගුණරත්න,
කුසල් මෙන්ඩිස්,
ධනංජය ද සිල්වා,
තිසර පෙරේරා,
දසුන් ශානක,
ලක්ෂාන් සඳකැන්,
සීකුගේ ප්‍රසන්න,
දුෂ්මන්ත චමීර,
කසුන් රාජිත,
නුවන් ප්‍රදීප්,
ළහිරු කුමාර
සධීර සමරවික්‍රම
මෙම තරඟයට නම්කර ඇති නවසීලන්ත සංචිතය
ටිම් සවුති (නායක),
ලොකී ෆර්ගසන්,
මාටින් ගප්ටිල්,
ස්කොට් කුග්ලෙයින්,
රොස් ටේලර්, කොලින්
මුන්රෝ, ඩග් බ්‍රේස්වෙල්,
හෙන්රි නිකොල්ස්,
ග්ලෙන් පිලිප්ස්,
සෙත් රැන්ස්,
මිචෙල් සෑන්ට්නර්,
ටිම් සෙයිෆර්ට්
ඉෂ් සෝධි