Gossips

අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න

අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න "
අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක්
මුල්ලේරියාව – අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීම පාතාලයේ රත්තරන් ඝාතනයට පළිගැනීමක් බව අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, විදෙස්ගතව, සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා මෙම ඝාතන සැලැස්ම මෙහෙයවා ඇති බවට හෙළි වී ඇති බවයි පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
පෙරේදා රාත්‍රියේ මුල්ලේරියාව – අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, ඔහුගේ බිරිඳගේ නිවස අසළ දීයි.
මෙලෙස මිය ගියේ කොස්මල්ලී නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ අනුගාමිකයෙක්.
මීට වසර 3කට ඉහත දී අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන පාතාලයේ රත්තරන් නමින් හඳුන්වන පුද්ගලයෙකු කොස්මල්ලීගේ පාර්ශවය කළ වෙඩි තැබීමකින් මිය ගියා.
එම ඝාතනයට වසර 3ක් ගත වූයේ පෙරේදා දිනයේදියි.
ඊට පළිගැනීමක් ලෙස කොස් මල්ලිගේ අනුගාමිකයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.
මේ අතර, මෙම ප්‍රහාරයට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් ද වැල්ලම්පිටිය – කොහිලවත්ත තොටුපළක් අසළ දමා ගොස් තිබියදී ඊයේ සොයා ගත්තා.
එම යතුරුපැදියෙහි ව්‍යාජ අංක තහඩුවක් සවි කර තිබී ඇති අතර, එහි හිමිකරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම යතුරුපැදිය මීට පෙර උකසට තබන ලද එකක් බවට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි.
පොලීසිය පවසන්නේ මෙම ඝාතනය සිදුකිරීමට පෙර ඔත්තු බැලීම සඳහා යොදවා තිබූ තවත් යතුරුපැදියක් පිළිබද තොරතුරු ලැබී ඇති බවයි.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයට යාබද නිවසක CCTV දර්ශන පිරික්සීමේදී මේ බව අනාවරණ වී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.
ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මේ අතර, සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් සල්මාන් රිල්වාන් හෙවත් පප්පා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත – ඛෙත්තාරාම මාර්ගයේදියි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් පැකට් කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
ජම්පටාවීදිය, මාළිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පසුගිය කාලසීමාව තුළ සිදුවූ අපරාධ රැසකට මොහු සම්බන්ධ බවට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණ කළ තොරතුරුවලට අනුව මාළිගාවත්ත පොලිස් වසමේ ඇපල්වත්ත, මහල් නිවාස සංකීර්ණය පිටුපස වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු පිළිබද වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය මගින්.