Politics Sri Lanka

“මට එරෙහි නඩුව විභාග කරන්න එපා” ගෝඨාභය තුන්වෙනි පාරත් ඉල්ලයි

“මට එරෙහි නඩුව විභාග කරන්න එපා” ගෝඨාභය තුන්වෙනි පාරත් ඉල්ලයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් වගඋත්තරකරු කරමින් ඊයේ (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.

ගාලූ වරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය ලබාදීම තුළින් ශ්‍රී ලංකා රජයට බිලියන 11.4ක පාඩුවක් කරන ලදැයි කියමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩු පැවරීමෙන් පසු මෙම නඩුව විභාග කිරීම නතර කර ගැනීමට ඔහු විසින් මහත් පරිශ්‍රමයක් දරණ ලදී.

නඩුව ගොණුකළ ආසන්න කාලයේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතාවය ඉවත දමනු ලැබීය.

ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කෙරිණි. එම ප‍්‍රතිශෝධන පෙත්සමද ප‍්‍රතික්ෂේප කෙරිණි.

ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තෙවෙනි වරටත් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධ නඩුවේ එක් සැකකාරියක වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටී.