Gossips

ඔවුන් මාව මරාවි – මගේ ජීවිතය අනතුරේ යැයි පවසා තොටුපොළේ නතරවූ තරුණිය

තම ජීවිතයට තර්ජනයක් පවතින බව පවසමින් ගුවන්තොටුපොළේ හෝටල් කාමරයක රැඳී සිටින තරුණියක් විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති නිවේදනයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ බැංකොක් ගුවන්තොටුපොළෙන්.
මෙලෙස එරට ගුවන්තොටුපොළේ රැඳී සිටින්නේ රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති සෞදි තරුණියක් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් තායිලන්තයේ ආගමන විගමන බලධාරීන් පෙන්වාදෙන්නේ තාවකාලිකව ඇයට සිය රටට ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති බවයි.
පසුව ඇයගේ ඥාතීන් සිටින කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඇය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
යළි සිය රටට යාම ප්‍රතික්ෂේප කරමින් ඇය සඳහන් කරන්නේ මෙවැන්නක්.
"මගේ සහෝදරයින්, පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටීවි. ඔවුන් මාව මරාවි. මගේ ජීවිතය අනතුරේ. බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා."
එම තරුණිය සිය ඥාතීන්ගෙන් මිදී මෙලෙස පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීමේ බලාපොරොත්තුවෙන්.
කෙසේ වෙතත් ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී තම විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගනු ලැබූ බවයි ඇය පවසන්නේ.
තමාට ඔස්ට්‍රේලියාවට වීසා ඇති බවත් කිසිවිටෙකත් තායිලන්තයේ නැවතීමට බලපොරොත්තුවක් නොමැති බවත් ඇය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ෆිල් රොබට්සන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.
"ඇය විසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සහ කළ බවත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසමින් තායි ආණ්ඩුව කතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනෙන්න තිබෙනවා….ඇත්ත වශයෙන්ම ඇයට ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවේශපතක් තිබුණා. මුලික වශයෙන් ඇයට තායිලන්තයට ඇතුළු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ"