Gossips

මධ්‍යම කඳුකරයේ රක්ෂිත ගිනි තැබීම් ඉහළට – ජල මූලාශ්‍රවලටත් අවදානමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ රක්ෂිතවලට ගිනි තැබීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවන බව වන සංරක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායම් සතුන් දඩයම් කිරීමේ අරමුණින් සහ විනෝදාස්වාදය පිණිස මෙම ගිනි තැබීම් සිදුකරන බවටයි එම දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත්තේ.
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ රක්ෂිතයකට ඊයේ රාත්‍රියේද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා.
එම ගින්න අද අලූයම වනවිට නිවී ගොස් තිබූ අතර, එයින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එසේම පසුගිය දින කිහිපය තුළදී කාසල්රී ජලාශ රක්ෂිතය, සිංගිමලේ රක්ෂිතය සහ ආගරපතන කඳුවැටියට ගිනි තැබීමෙන් එම රක්ෂිතවල අක්කර 50කට වැඩි කොටසක් විනාශ වී තිබුණා.
මෙලෙස රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ගිනි තැබීම් නිසා අදාළ රක්ෂිත හරහා ගලා බසින ජල මූලාශ්‍ර ද අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සතුරුසිංහ සඳහන් කළා.