Gossips

මාතර – බෙලිඅත්ත, නිරීක්ෂණ දුම්රිය චාරිකාවට බාධා – ඇමති අර්ජුනට ‘හූ’ කියයි

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේදී ඊට රැස්ව සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා.
ඒ හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ද පැවති බවයි ප්‍රදේශයේ වාර්තාකරුවන් සඳහන් කළේ.
නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිසට ඔවුන් මෙලෙස විරෝධතාවය පළ කළ බවයි වාර්තා වන්නේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සහය පළ කළ එම පිරිස් ඔවුන්ගේ රුව සහිත බැනර් ද දුම්රිය මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර තිබෙනවා.
බෙලිඅත්ත, ඔවිලාන සහ බඹරැන්ද යන දුම්රිය ස්ථානවල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් රැදී සිටි අතර, ඔවුන් කියා සිටියේ දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඉදිකරන ලද්දක් බවටයි.
මේ අතර, බෙලිඅත්ත දුම්රිය ස්ථානය ඉදිකරමින් සිටියදී වහලයකින් ඇද වැටී මිය ගිය සේවකයෙකුගේ ඥාතීන් පිරිසක් ඔවිලාන ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධය පළ කළා.
පසුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිස බඹරැන්ද දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී ද එහි රැස්ව සිටි පිරිස් විරෝධතාවය පළ කොට දුම්රියෙහි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂගේ රුව සහිත බැනරයක් සවි කිරීමට ද කටයුතු කළා.
පසුව ඔවුන් ප්‍රවාහන අමාත්‍යවරයාට ‘හූ ’කියමින් විරෝධතාව පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිස යළි දුම්රියට නැග මාතර දුම්රිය ස්ථානය දක්වා පැමිණියා.
ඉන් අනතුරුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ සංවර්ධන කටයුතු සඳහා යොදවන්නේ ජනතා බදු මුදල් මිස දේශපාලනනඥයින්ගේ මුදල් නොවන බවයි.