Gossips

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දහම් පාසල පිළිබඳ ගැටළුවක්

නුගේගොඩ – අනුලා විද්‍යාල භූමියේ වසර 25 ක් පුරා පවත්වාගෙන ගිය දහම් පාසල, පාසල් බලධාරීන්ගේ බලපෑම මත වසා දැමීම හේතුවෙන් අද (06) උදෑසන දහම් පාසලට පැමිණි දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැඩි අසීරුතාවයකට පත්වුණා.
ඉරු දින දහම් පාසලට පැමිණි සිසුන් ඇතුළු ගුරුවරුන්ට දහම් පාසලට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටු වසා දමා තිබූ අතර මේ නිසා කුලී පදනම මත ගෙන්වා ගනු ලබන පුටු, පාසලේ තාප්පය ආසන්නයේ තබා එහි රැදී සිටීමට දරුවන්ට සිදුවූ බවයි වාර්තා වුණේ.
මෙම දහම් පාසල අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ පාලනය වනවා.
දහම් පාසලේ ප්‍රධානාචාර්ය ජී.කේ. සමිත් කුමාර චෝදනා කළේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දහම් පාසල වසා දැමීමට අනුලා විද්‍යාල බලධාරීන් ක්‍රියා කර ඇති බවටයි.
හිරු ප්‍රවෘත්ති අංශය, මේ සම්බන්ධයෙන් අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර විදුහල්පතිනි චන්ද්‍රානි අමරසිංහගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා සිය මුද්‍රාව නීතිවිරෝධීව යොදා ගනිමින් මුදල් එක්රැස් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි.
දහම් පාසල පැවැත්වීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් ලබා ගන්නේ නම් විදුහල තුල එය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ද ඇය කියා සිටියා.