Gossips

කුඩු ජාවාරම්කරු සුනිල් ශාන්තට පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්තට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
32 හැවිරිදි මහේෂ් ඉන්දික නැමති එම සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එනු ලැබුවා.
එහිදී කළුතර බන්ධනාගාර බස් රථයට සැකකරු නැංවීමට සිටි අවස්ථාවේ නිසි ක්‍රමවේදයකට අනුව සැකකරුවන් බස් රථවලට මාරු කිරීම සිදුනොවූ නිසා මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණි පිරිසක් විසින් මුදවාගෙන ගොස් තිබුණා.
පසුව ඔහු මහනුවර – මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වන දිනයි.