Gossips

තිසර සමඟ කළ සටනින් නවසීලන්තයට ජය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජයගන්නට නවසීලන්තය අද සමත් වුණා.
ඒ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගනිමින්.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දු වාර 50 තුළදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා.
එහිදී රොස් ටේලර් ලකුණු 90 ක්ද, කොලින් මොන්රෝ ලකුණු 87 ක් ද රැස් කළ අතර, පළමු එක්දින තරගයේදීද දස්කම් දැක්වූ ජේම්ස් නීෂාම් නැවතත් පන්දු 37 කදී ලකුණු 64 ක් රැස් කළා.
අර්ධ ශතක ලැබූ නවසීලන්ත ක්‍රීඩකයන් තුන්දෙනාම දුවද්දී දැවී යාමට හසුවූ අතර, ශ්‍රී ලංකා පිල එලෙස ලබාගත් දුවද්දී දැවීයාම් සංඛ්‍යාව 4 ක්.
මීට අමතරව නායක ලසිත් මාලිංග ලකුණු 45 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.
320ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 02කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 298ක් පමණයි.
එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 71ක් රැස් කළා.
සිය ජවය සහ විශ්වාසය පෙන්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා රැගෙන යාමට තනිව සටනක යෙදුණු තිසර පෙරේරා පන්දු 74ක් තුල වේගවත් ලකුණු 140ක් රැස්කිරීමට සමත් වුණා.
ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 13ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.
මේ අතර එක්දින නවසීලන්තයයේදී තරඟයක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තාකළ වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමටද තිසරට හැකියාව ලැබුණා.
මැට් හෙන්ඩ්රිගේ පන්දුවකට තිසර පෙරේරා එල්ල කළ පහර ට්‍රේන් බෝල්ට් විසින් උඩපන්දුවක් ලෙස රැකගන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තුව උදුරා ගනිමින්.
පන්දු යැවීමේදී මැට් හෙන්ඩ්රි කඩුලු 02ක් බිඳ දැමු අතර ඉෂ් සෝධි ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවා.
කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.