ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා.
ඒ, මාතලේ – අලුවිහාරයේදියි. මහනායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝයා වහන්සේ 2000කගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙය සිදුකිරීමට නියමිතයි.
1956 වසරේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ත්‍රිපිටකය පූර්ණ ග්රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර, ඉන් අනතුරුව එළඹෙන ඓතිහාසික වශයෙන් වැදගත්ම සිදුවීම සිදුවන්නේ අදයි.
ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙම කටයුතු සිදුකෙරෙන අතර අද දිනයේදී රාජ්‍ය ආයතන, විහාරස්ථානවල සහ නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ද රජය ඉල්ලීමක් කළා.
තුන්වන ධර්ම සංගායනාවේදී සූත්‍ර, විනය සහ අභිධර්ම වශයෙන් පූර්ණත්වයට පත් ථේරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වුණා.
මෙසේ උරුම වූ සම්බුදු දහම ශත වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව තුළ පෝෂණය වූයේ රාජ්‍ය ගෞරවය ලබමින්. මහ රහතන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේදී මාතලේ අළු විහාරේදියි.