Gossips

සේනා ගැන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝගවලට හානි කරන ‘‘සේනා’’ නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය මර්දනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ වාර්තාවක් අද කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සකස් කරන ලද එම වාර්තාවේ නිර්දේශ ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙම සේනා නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය 2016 වසරේදී මුල් වරට සොයා ගනු ලැබුවේ නයිජීරියාවෙන්.
මේ වනවිට මෙම දළඹු විශේෂය රටවල් 44 ක ව්‍යාප්ත වී තිබෙනවා.
මෙම දළඹු විශේෂය ශ්‍රී ලංකාවේදී මුල්වරට වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර මේ වනවිට අනුරාධපුර, මොණරාගල සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ව්‍යාප්ත වී ඇති බව සඳහන්.
එම දළඹු විශේෂයෙන් මේ වනවිට බඩඉරිඟු, උක්, වී, රටකජු සහ තවත් බොහෝ එළවළු සහ පළතුරු භෝගවලට ද හානි සිදුකරනු ලබනවා.
එක් දළඹුවෙකු වරකට බිත්තර 200 ක් පමණ පරිසරයට මුදා හරින අතර, ඉන් බිහිවන සළඹ විශේෂය දිනකට කිලෝමීටර් 100 ක් පමණ පියඹා යන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මේ අතර, හලාවත – කොළඹ මාර්ගයේ මහවැව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථානවල අලෙවි කරන බඩඉරිඟු කරල්වල සිටියදී මෙම සේනා නැමැති දළඹු විශේෂය සොයා ගැනීමට කෘෂිකර්ම සහ ගොවිජන සේවා නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා.
මේ අනුව තැම්බීම සඳහා බඩඉරිඟු කරල් ඉවත් කරන විටදී පිටත ආවරණය එම අවස්ථාවේදීම පුළුස්සා දමන ලෙසටයි කෘෂිකර්ම නිලධාරීන් අදාළ ව්‍යාපාරිකයින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එසේ නොවුණහොත් සේනා දළඹු විශේෂය ප්‍රදේශයේ වී සහ වෙනත් වගාවන් අතර ව්‍යාප්ත වී ඇති බවට ඔවුන් අනතුරු අගවා තිබෙනවා.
මේ අතර, සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා ඉදිරියේදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඊට අදාළව පසුගිය දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදුකළ අත්හදා බැලීම සාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.