Gossips

නව ව්‍යවස්ථාව ගැන නිදහස් පක්ෂ මතය කෙටුම්පතෙන් පසු

කෙටුම්පත ලැබුණු පසු නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ප්‍රකාශ කිරීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුකිරීමත් සමඟ සිදුකෙරුණු සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
දැනට කෙටුම්පත් කර ඇති යෝජනාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ විය නොහැකි බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කිරීමත් සමඟයි ඒ පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ.
එමෙන්ම මාස තුනක් ඇතුලත පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට අවශ්‍ය කටයුතු සිදු කිරිමට සහ පුරප්පාඩු වී පවතින දිස්ත්‍රික් ආසන සංවිධායකවරු ඉදිරි සතියක කාලය තුල පත් කර අවසන් කිරිමට ඊයේ රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණා.
මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහලේකම් ධුරයෙන් ඉවත් වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි තාවකාලිකව එම තනතුරට පත් කෙරුණේ.
කෙසේ වෙතත් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයෙකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් කටයුතු කරනු ඇති.
මධ්‍යම කාරක සභාව අවසන්වීමෙන් පසු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බවයි.