Gossips

උසස් පෙළ ප්‍රථමයන් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්

සියලූ විභාග අපේක්ෂකයන්ට සාධාරණත්වය සහ යුක්තිය ඉටුවන පරිදි කටයුතු කිරීමට විභාග දෙපාර්තමේන්තුව බැඳී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ඊට අදාළව තම දෙපාර්තමේන්තුව නෛතික වගකීමකින්ද බැඳී සිටින බවයි.
ප්‍රතිඵල නිකුත් කිරීමේදී එක් එක් විෂය ධාරා අනුව දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීම ඔවුන් දිරි ගැන්වීමක් ලෙස සලකන බවද එහි දැක්වෙනවා.
ඒඅනුව ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීම පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බවත්, ඇය අධ්‍යාපනය ලැබූ ස්ථානය මුල් කරගෙන එම දක්ෂතාව නොසලකා හැරියහොත් එය අසාධාරණයක් මෙන්ම, සිසුවියගේ අයිතිවාසිකම් කඩවීමක් වන බවත් විභාග කොමසාරිස්වරයා කියා සිටියා.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සිසුවිය උසස් පෙළ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේදී ඇයගේ අයදුම්පතෙහි ලිපිනය ලෙස, පාසල සහ එම ලිපිනය ඇතුළත් කර තිබූ බැවින් ප්‍රතිඵල නිකුත් කිරීමේදී අදාළ තොරතුරු වාර්තා කළ බවයි.
මීට පෙර අවස්ථාවලදීද පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථානවලට පැමිණි අවස්ථා දක්නට ලැබෙන බව එහි සඳහන්.
එසේම විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී විභාගයට පෙනී සිටීමේ අවස්ථාව මිස පාසල් අපේක්ෂකයෙකු හෝ පෞද්ගලික අපේක්ෂකයෙකුද යන්න සොයා නොබලන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
මෙතෙක් ක්‍රියාත්මක වූ නියමිත ක්‍රමවේදයම මෙවර විභාගයේද ක්‍රියාත්මක වූ බවයි ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ.