Gossips

දෙපිලට එරෙහි වාර්තා මැද නවසීලන්තය පළමු එක්දින තරඟය ජය ගනී – ශ්‍රී ලංකාවට දඩ

ශ්‍රී ලංකාව සමඟ මවුන්ට් මංගනුයි හි අද පැවැති පළමු එක්දින තරගය ලකුණු 45 කින් ජයගැනිමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 371 ක්.
එහිදී මාර්ටින් ගප්ටිල් ලකුණු 138 ක් සහ නායක කේන් විලියම්සන් ලකුණු 76 ක් රැස්කළේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 163 ක සබඳතාවක් පවත්වමින්.
නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී 7 වන පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් නීසම් වේගවත් ඉනිමක් ක්‍රිඩා කරමින් පන්දු 13 කදී ලකුණු 47 ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 326 ක් පමණයි.
එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 102 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 76 ක් ලබා ගත්තා.
මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 371 ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ශ්‍රී ලංකාව ඊට පිළිතුරු වශයෙන් රැස්කළ ලකුණු 326 ද, නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
මේ අතර, අද තරඟයේදී නියමිත කාලය තුළ පන්දුවාර පනහ සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කෙරෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළා.