Gossips

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 08 ක සිරදඩුවම්

රියදුරෙකුගෙන් රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද වසර 8 ක බරපතල වැඩසහිත සිර දඩුවම් නියම කළා.
මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙලෙස දඩුවම් නියම කළේ ගිරාඳුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුටයි.
රථවාහන වරදක් සිදුකළ අදාළ රියදුරාට නීතිමය පියවර නොගෙන සිටීම සඳහා පොලිස් කොස්තාපල්වරයා මෙම අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ 2014 වසරේ මැයි මාසයේදියි.
අල්ලස් ලබාගැනීම ඇතුලූ චෝදනා 4 ක් යටතේ මොහුට විරුද්ධව නඩු පවරා තිබූ අතර, දඩුවමට අමතරව රුපියල් 20,000 ක දඩ මුදලක්ද ගෙවන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් සැකකරුට නියෝග කළා.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ තිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා කල් තැබුණා.
ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.
මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනෙකුට එරෙහිවයි.
අධිකරණයේ අවසරය මත හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගතව සිටින අතර, අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා එල්ලවී ඇති අනෙක් විත්තිකරුවන් 6 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එමෙන්ම කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මේ මස 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ දින නාහිමියන්ගේ සිරුරෙන් ගලාගිය රුධිර සාම්පල් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවක් සහ ඞී.එන්.ඒ. වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළේ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හත්දෙනාගේ දුරකථන විශ්ලේෂන වාර්තා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට එහිදී දැනුම් දෙනු ලැබුවා. කිරිවෙහෙර නාහිමියන් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ් පසුගිය වසරේ ජූනි මස 12 වනදා රාත්‍රියේයි.