Gossips

විදෙස් රැකියා ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හිරු මැදිහත්වීමෙන් කුරුණෑගලදී අල්ලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියා ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විදෙස් රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගනිමින් සිටියදියි.
මීට සතියකට පමණ පෙර පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුට මෙම පුද්ගලයා මුණගැසී තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ සයිප්‍රසයේ බැංකුවක රැකියාවක් ලබාදිය හැකි අතර ඒ සඳහා කොටස් කිහිපයකින් මුදල් ගෙවීමක් සිදුකළ යුතු බවටයි.
හැකිනම් තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරදෙන ලෙසද ඔහු පවසා තිබෙනවා.
ඉන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා ඇතුලූ තවත් පස්දෙනෙකුගෙන් පමණ මොහු රුපියල් 50,000 ක පමණ මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
පසුව මෙම පුද්ගලයාගේ ප්‍රකාශ ගැන සැක සිතූ එක් කාන්තාවක් සිද්ධිය පිළිබඳව පොළොන්නරුව හිරු වාර්තාකරුට කරුණු පවසා තිබෙනවා.
ඉන් අනතුරුව අප වාර්තාකරුගේ මැදිහත්වීමෙන් කුරුණෑගල පොලීසියට පැමිණිලි කර ඇති අතර, පසුව පොලිස් නිළධාරින්ගේ උපදෙස් පරිදි සැකකරුට තවත් මුදලක් ලබාදීමට අදාළ කාන්තාව කැමැත්ත පළ කර තිබෙනවා.
එම මුදල්ලබාදීමට එකඟවී ඇත්තේ කුරුණෑගල බස් නැවතුම්පලේදීයි.
ඒ අනුව අද පෙරවරුවේ මෙම කාන්තාව අදාළ පුද්ගලයා මුණගැසී තිබෙනවා.
එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් විසින්.
මොහු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මොහු තවත් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ද යන්න පිලිබඳව විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි කුරුණෑගල පොලීසිය සඳහන් කළේ.