Gossips

අයවැය, අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
මෙහිදී ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.
එමෙන්ම, මුදල් අමාත්‍යවරයා විසින් මෙම වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබූ නමුත් එය ඊලඟ කැබිනට් රැස්වීම දක්වා කල් දමා තිබෙනවා.
මෙවර අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ඨාශයකට ලබාදෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය වසරේ ගම්පෙරළිය වැඩසටහන යටතේ මැතිවරණ කොට්ඨාශයකට ලබාදුන් රුපියල් මිලියන 200 ක මුදල රුපියල් මිලියන 300 දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුව ගෙන ඒමට නියමිත අයවැයෙන් ජනතාවට සහන අපේක්ෂා කළ නොහැකි බවයි.