Gossips

ඇලෝසියස් සහ පලිසේනට ඇප

ප්‍රශ්ණ ගත මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට අද ඇප හිමිවුණා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මීට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණු අතර, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.
මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති පසුබිමක මෙම නඩුවේ විමර්ශන කුමන දිනක අවසන් වේදැයි නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
එවන් අවස්ථාවක මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම යුක්ති සහගත නොවන බැවින් ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කරන බව ද, විනිසුරුවරිය සදහන් කළා.
එමෙන්ම, මීට පෙර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකර තිබූ ලිඛිත විරෝධතා ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන්ගේ රෝගී සහ මානසික තත්ත්ව සුවිශේෂ කරුණු ලෙස සැලකිල්ලට ගනිමිනුයි මෙලෙස අද ඇප නියම කර ඇත්තේ.
පසුගිය වසරේ පෙබරවාරි මස 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අත්අඩංගුවට ගනු ලැබුවා.