Gossips

ගම්වාසීන්ගේ අමානුෂික පහර දීමට ලක්වූ ආදිවාසියෙක් මරුට

සොරකම් කළ බව පවසා ආදිවාසී සාමාජිකයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
30 හැවිරිදි මෙම ආදිවාසී සාමාජිකයාට වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා පවතින බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
ඊයේ සවස ගම්වාසීන් විසින් මෙම පුද්ගලයා ජීවත්වන වනගත පෙදෙසට ගොස් ඔහු නගරයට රැගෙනවිත් තිබෙනවා.
අනතුරුව ඔහුට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මෙම ආදිවාසී සාමාජිකයා පොලිසියට භාරදී ඇති අතර පොලිසියට රැගෙන යන අතරතුර ඔහු මියගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙම මරණය පහරදීම හේතුවෙන් සිදුවුවක් ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.
ඔහු පසුගියදා වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම් කරන ආකාරය කැමරාවල ද පටිගත වී තිබු බව සඳහන්.
ඒ අනුවයි ප්‍රදේශවාසීන් සැකකාර ආදිවාසි සාමාජිකයා සොයාගෙන ගොස් ඇත්තේ.
කෙසේවෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රජාව අතර දැඩි විරෝධයක් ද හටගෙන තිබෙනවා.
ඔහු සොරකම් කළ බවට පැවසෙන භාණ්ඩ අතර සහල් සහ කිරිපිටි පැකට්ටුවක් වන බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම භාණ්ඩ ගම්වාසීන් විසින් පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එමෙන්ම මෙම ආදිවාසී සාමාජිකයාගේ දෙඅත් ගැටගසා පහරදීමට පෙර කිසියම් තරුණයෙක් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයට එක්වී තිබෙනවා.
මෙම සිද්ධියට ඉන්දියාවේ ජනප්‍රිය කලාකරුවන්ගේ මෙන්ම ග්‍රන්ථ රචකයන්ගේ ද විරෝධතාව මතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.