Gossips

මත්ද්‍රව්‍ය වැටලීම් විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදු කෙරෙන වැටලීම් තවත් විධිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වල සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඒ අනුව 2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝ 184.6 ක ප්‍රමාණයක්.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විශේෂ වැඩසටහනට අනුව නොවැම්බර් 01 දා සිට මේ දක්වා මාස 02කට ආසන්න කාලය තුළ දී හෙරොයින් කිලෝ 280ක පමණක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
මේ අතර නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාල නීති කාර්යක්ෂමව සහ දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරින් වෙත පවරාදීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය ද මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් සිදු වෙමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.