Gossips

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව මසක් තුළ කථානායකට

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාව ලබන වසරේ ජනවාරි මාසය තුළ සකස් කර අවසන් කිරීමට ඒ පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එම කමිටුවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද හමුවූ අවස්ථාවේදියි.
පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලැබුවේ කථානායක කරූ ජයසූරිය විසින්.
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් කටයුතු කරනවා.
නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරික්ෂණය කිරීම මේ වනවිට අවසන් කර ඇති බවයි.
ලබන ජනවාරි මස 3, 8 සහ 9 දිනවල යළි මෙම කමිටුව රැස්වීමටද නියමිතව තිබෙනවා.
ඉන් පසුවයි කමිටුව මගින් සකස් කෙරෙන අවසන් වාර්තාව කථානායකවරයා වෙත භාරදීමට නියමිතව ඇත්තේ.
මේ අතර අදාළ ගැටුම්කාරී සිද්ධිය හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේ දේපළවලට සිදුවූ හානිය පිළිබඳව දේශීය රක්ෂණ සමාගමක් විසින් පසුගියදා තක්සේරු කිරීමක් සිදුකරනු ලැබුවා.
ඉදිරියේදී ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක්ද කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.