Gossips

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය – රජය කියයි

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.
පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වීමෙන් පසුව පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ වාර්තාව මෙතෙක් නොලැබීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් යමින් පවතිනවා.
මධ්‍යම, උතුරුමැද නැගෙනහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වල නිළ කාලය මේ වන විට අවසන්ව ඇති අතර එම පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේයි.
එමෙන්ම ලබන වසරේ අප්‍රේල් 10 වනදා දකුණු පළාත් සභාවේත්, අප්‍රේල් 21 වන දා බස්නාහිර පළාත් සභාවේත්, සැප්තැම්බර් 8 වන දා ඌව පළාත් සභාවේත් නිල කාලය අවසන්වීමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ පැරණි ක්‍රමයට හෝ කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අදාල පනත් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවටයි.