Gossips

ගං වතුරෙන් තවමත් 87,000 කට පීඩා

උතුර පළාතට තද වැසිවල බලපෑම අඩුවුවත් පීඩාවට පත්වූ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් සුබසාධන කඳවුරුවල රඳවා සිටිනවා.
පළාත් 3 කට බලපෑම් එල්ල කළ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්.
පුද්ගල මරණ දෙකක් වාර්තාවී ඇති අතර, නිවාස 89 කට පූර්ණ හානි සිදුවී තවත් 1308 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
සුබසාධන කඳවුරු 24 ක උතුර පළාතේ පුද්ගලයන් 8,683 දෙනෙකු රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ පුද්ගලයන් 890 දෙනෙකුද, වයඹ පළාතේ පුද්ගලයන් 52 කුද පීඩාවට පත්වී ඇති බව සඳහන්.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් අපහසුතාවට පත්වූ ජනතාවට අඩුපාඩුවක් සිදු නොවන අන්දමින් පහසුකම් සපයා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති අතර, ඒ අනුව තම දිස්ත්‍රික්කයේ සුබසාධන කඳවුරුවල රඳවා සිටින ආපදාවට පත් ජනතාව පිළිබඳ නිරන්තර අවධානයකින් සිටින බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් කියා සිටියේ.
එමෙන්ම ජල ගැල්මෙන් අපවිත්‍ර වූ නිවාස, ජල ළිං සහ වැසිකිලි යළි පවිත්‍ර කිරීමේ වැඩසටහන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් උතුර සහ නැගෙනහිර පළාත්වලට දැනට සිදුව ඇති හානිය රුපියල් බිලියනයක් බවට ගණන් බලා ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම නාවික හමුදාවේ මෙහෙයුම් කණ්ඩායම් 6 ක් ආපදාවට පත් ප්‍රදේශවල සේවා කටයුතු සඳහා යොදවා ඇති අතර, ගුවන් හමුදාව, ගුවනින් හඳුනාගැනීම් මගින් උවදුරු සහිත ප්‍රදේ්ශවල සේවයෙහි යෙදෙන පාබල හමුදාවල කටයුතුවලට සහය දෙමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 6 ක කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි පවතින අවස්ථාවල එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.