Gossips

වසරේ වෙඩි තැබීම් 49 කින් පුද්ගලයන් 54 දෙනෙකු ඝාතනයට ලක්වෙයි

අද සහ ඊයේ සිදුවූ වෙඩි තැබීම්ද ඇතුළුව වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා පුද්ගලයින් 54 දෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
අදාළ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 49 ක් වාර්තා වී ඇති බවයි වාර්තාවන්නේ.
ඊට ආසන්නතම සිදුවීම ලෙස ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය අසලින් අද උදෑසන වාර්තා වූයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියයි.
පාතාල කල්ලි නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්වූයේද පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිනේෂ් එරංග නැමැති 32 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්.
පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීම සිදුකිරීමට පෙර බ්ලූමැන්ඩල් සංඛ හේනමුල්ල ප්‍රදේශයට අද උදෑසන පැමිණ චුට්ටි මල්ලි නැමැති පුද්ගලයෙකු පහර දී ඇති අතර, ඉන් අනතුරුවයි යළි යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
මේ අතර වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ 04 දෙනාගෙන් එක් අයෙකු රෝහලෙන් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී පුද්ගලයින් 04 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදියකින් සැකකරුවන් පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබෙනවා.
ඒ ඔස්සේ පුළුල් විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.
ඊයේ උදෑසන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, එහිදී 04 දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.
එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කුඩාවැල්ල ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධකයදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය අද අළුයම වෙඩි තබනු ලැබුවා.
කෙසේ වෙතත්, වෑන් රථය වෙඩි ප්‍රහාර හමුවේ පලාගිය අතර, එය සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.