Gossips

සාමය හා සංහිදියාව ජේසුතුමන්ගේ සදාතන පණිවුඩයයි

සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝදයේ සමය නත්තල වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
උදා වූ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ නත්තලේ අපේක්ෂාව වනුයේ නව ජීවිතයක් බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නත්තල යනු වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් බවයි.
ජේසුස් වහන්සේගේ ජීවිතය සිදී, බිදී ගිය ලොවට අපේක්ෂාව සහ සංහිදියාව රැගෙන එනු ලැබූ බවත්, එය කුල – මල – භාෂා වෙනසකින් තොරව සියළු ශ්‍රී ලාංකිකයින්ට භේද නොවී සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවධියක් වන බවත්, අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහකකමින් දෙබිඩි මනසකින් තොරව ප්‍රේමයේ සැබෑ බලය මාර්ගෝපදේශය කර ගනිමින් වැඩ කිරීමේ වැදගත්කම නැවත මතක් කර ගැනීමට මෙය හොඳම කාලය බවයි.
ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ වදන් පොතකට පමණක් සීමා වූ දෙයක් නොව මිනිසුන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ උපදෙස් සහ සැබෑ පරිවර්තනයක් පැමිණීමේ බලාපොරොත්තුව කරා ගෙන යන්නක් බව ද එහි තවදුරටත් දැක්වෙනවා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජේසුස් වහන්සේ දේශනා කළ උතුම් ගුණාංග පෝෂණය කළ හැකි සමාජයක් නිර්මාණය කර ගැනීම අප හමුවේ පවතින අභියෝගය බවයි.