Gossips

අයහපත් කාලගුණයෙන් උතුරේ පුද්ගලයින් 60345 කට පීඩා

උතුර, නැගෙනහිර, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට උතුර පළාතේ පවුල් 18,585 කට අයත් පුද්ගලයින් 66,345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
මේ අතර රාජාංගණය, දැදුරුඔය, අංගමුව සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
අද අලූයම වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබූ අතර, රාජාංගණ ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘතව පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
මේ අතර උතුරේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ, රාජ්‍ය කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්.
ඊට කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම සියලූම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටින බව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලූ අංශ වෙත දැනුම්දුන්නේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මෙම සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා.