Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන අලූත් කතාවක්

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල අඩු වූ බව රජය පැවසුව ද මිල වෙනස් වීමේ රටාව අනුව කිසිදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවකාශමය සංඛ්‍යායනය පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනය පිළිබදව අදහස් දක්වමින්.
ඊයේ රාත්‍රියේ මිල අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 කටත් අලෙවි වනවා.
එමෙන්ම, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 ක් වන අතර, සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 121 ක්.
මේ අතර, ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අනිද්දා සාකච්ඡා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ඉදිරි සතිය තුළ දී සියයට 4ත්, සියයට 5ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බවයි.
මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ පහත දැමූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද පහත දැමීමට ත්‍රිරෝද රථ හිමියන් කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව, ත්‍රිරෝද රථයක පළමු කිලෝමීටරය සදහා රුපියල් 50 දක්වාත්, දෙවන කිලෝමීටරයේ සිට අය වන ගාස්තුව රුපියල් 35 දක්වාත් පවත්වාගෙන යන ලෙසට ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව එම සම්මේලනය සදහන් කළා.
සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පාසල් නිවාඩු සමය අවසන් වීමෙන් අනතුරුව ජනවාරි මාසය තුළ දී ගාස්තු පහළ දැමීම පිළිබදව ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.
මේ අතර, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර සිටියේ ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිලට සාපේක්ෂව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මේ වනවිට රුපියල් 108 කට අලෙවි කළ යුතු බවයි.
එසේම, ඔක්ටේන් 95 රුපියල් 116 කට ද ඔටෝ ඩීසල් රුපියල් 86 කට සහ සුපර් ඩීසල් රුපියල් 93 කට ද මිල සූත්‍රය අනුව අලෙවි කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.