Gossips

බැඳුම්කර වංචාවේ පරීක්ෂණ ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් හෙළිවෙයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාල පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් සම්බන්ධයෙන් එම කොමිසමේ නිලධාරීන් අද ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කළා.
ඒ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවකදී.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවත් අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස මෙරට රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත් සිංගප්පූරු රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා.
බැඳුම්කර වංචාවට අදාළ දැනට රක්ෂිත බන්ධනාගාර සිටින සැකකරුවන්ට මෙතෙක් චෝදනා පත්‍ර භාරදී නොමැති බැවින් ඔවුන්ට අදාළ චෝදනා පත්‍ර කඩිනමින් භාරදීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ අක්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත බොරු සාක්ෂි ලබාදීම පිළිබඳව චෝදනාවට ලක් වූ චූදිතයන් සහ මෙම පරීක්ෂණවලට අදාළ සාක්ෂි විනාශකළ චූදිතයන්ට නඩු පැවරීම මේ දක්වා ප්‍රමාද වී ඇති බැවින් කඩිනමින් ඔවුන්ට නඩු පැවරීමේ වැදගත්මකම මෙහිදී අනාවරණය වුණා.
මෙම නඩුවලට අදාළ පනත් සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව මේ සඳහා බාධා පමුණුවා ඇති බවත් මෙම මුදල් අක්‍රමිකතාවය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපති කොමිෂම විසින් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට පසුගිය ජනවාරි මස 18 වැනි දින තීරණය කළද එය මෙතෙක් සිදු නොවීම බරපතළ වරදක් හා ප්‍රමාදයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
වගඋත්තරකරුවන් භාවිත කළ දුරකථනවල හඬපටවල වැදගත් කොටස් මකා දමා ඇති බවත් එම හඬ පටද විශේෂඥවරුන්ගෙන් නව තාක්ෂණික පරීක්ෂාව සඳහා මෙතෙක් පිටරට යවා නොමැති බවත් මෙම සාකච්ඡාවේදී හෙළිවී තිබෙනවා.
ඔවුන් පවසන්නේ මෙම කරුණු අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පවත්වන පරීක්ෂණ කඩිනම්ව සිදුකිරීමට නොහැකිවන පරිදි අදාළ ආයතනවලට බලපෑම් සිදුකර ඇති බවයි.
ඉදිරියේදී මසකට වරක් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටද එහිදී තීරණය වී තිබෙනවා.
අදාළ පරීක්ෂණ කටයුතුවලදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවල නීතිපති දෙපාර්තමේන්තුවල පොලිස් දෙපාර්තමේන්තුවල මහ බැංකුව ඇතුළු සියලු ආයතන අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරනු ඇති බව රටේ ජනතාවගේ විශ්වාසය බවට ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.