Gossips

අධ්‍යාපන සේවයේ පළි ගැනීම් ගැන පරීක්ෂා කළ කමිටුවේ වාර්තාව ජනපතිට

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන් හි දේශපාලන පළිගැනීම් මත පත්වීම් සහ උසස්වීම් ලබාදීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර නිර්දේශ ලබාදීම සදහායි මෙම කමිටුව පත්කරනු ලැබුවේ.
එම වාර්තාව අද (21) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ කමිටුවේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න විසින්.
1994 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් සහ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් අධ්‍යාපන වෘත්තීය සමිති වෙතින් එල්ලවී තිබුනා.
ඊට ප්‍රතිචාර වශයෙන් එම පත්වීම් සහ උසස්වීම් පිළිබද පරීක්ෂා කර බලා නිර්දේශ ලබාදෙන ලෙස ජනාධිප මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල නිලධාරී මණ්ඩලයකින් මෙම කමිටුව සමන්විත වුනා.