Gossips

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ

ඇමරිකානු ආරක්ෂක ලේකම් ජීම් මැතිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පවතින මතභේද හේතුවෙන් ඔහු ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ආරක්ෂක ලේකම් ජිම් මැතිස් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට ඔහුගේ අදහස් වලට ගැලපෙන ආරක්ෂක ලේකම්වරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමින් තමා ඉවත් වන බවයි.
සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම සඳහා වන ජනපති ට්‍රම්ප්ගේ තීරණයට ආරක්ෂක ලේකම්වරයා නොසතුටෙන් පසුවූ බව ද සඳහන්.
මේ අතර, ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමරිකානු හමුදා සෙබලූන් 7000 කට අධික සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
එය දැනට ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදා සාමාජිකයන් සංඛ්‍යාවෙන් අඩක් ලෙස සැලකිය හැකියි.
ඔවුන් ඉදිරි මාස කිහිපය තුළදී නැවත සිය රට බලා යනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.