Gossips

දෙමළ ජාතික සන්ධානය ජනපතිගෙන් කළ ඉල්ලීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අතර හමුවක් ඊයේ (22) සිදුවුණා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි.
ඊට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්දිරන් සහ මාවෙයි සේනාධිරාජා ද සහභාගි වූ බව සඳහන්.
දැනට රට තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි එම හමුවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කියා සිටියේ.
‘‘ රටේ දැනට තියෙන දේශපාලන තත්ත්වය ගැන අපි මෙහිදී අවධානය යොමුකළා. රටේ පවතින අස්ථාවරභාවයට නුදුරේදීම විසඳුමක් හොයලා ස්ථාවර රජයක් පත් කරන ලෙසද අපි ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළා. පත්වෙන එම ස්ථාවර රජයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කඩිනම් වැඩපිලිවෙලක් සකස් කරන ලෙසයි දෙමළ ජාතික සන්ධානය විදියට අපි එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියේ. ’’
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් සම්මත කර ගැණුනු ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරලීම ජාත්‍යන්තර ප්‍රජාව විසින් සහතික කළ යුතු බව විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළා.
මානව හිමිකම් මණ්ඩල යෝජනාවේ සම අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාව එය පිළිපැදිය යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ.
මෙරට නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කළ යුතු බවත්, එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අවධාරණය කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකානු කොංග්‍රස් සභික ජේම්ස් සෙන්සෙන්බ්‍රෙනර් සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මැට් බිසෙනියුස් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.