Gossips

ලූතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අද අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවන් වන කොමදෝරු ඩී.කේ.පී. දසනායක සහ කොමදෝරු සුමිත් රණසිංහ මේ වනවිට නාවික හමුදාපතිවරයා විසින් යලි සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි.
එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ලූතිනන් කමාන්ඩර් චමින්ද වෙලගෙදර ඇතුළු නිලධාරීන්ට ඔවුන් යටතේ සේවය කිරීමට සිදුව ඇති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.
මේ නිසා සාක්ෂිකරුවන්ට සැකකරුවන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම සාක්ෂිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ ප්‍රකාශ හෙලිකළ නොහැකි බවද පොලිස් පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.
නඩු විභාගය සිදු කෙරෙන අතරතුර අධිකරණ ශාලාවේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු රැඳී සිටින බව ඔහු එහිදී කියා සිටියා.
ඔවුන් කුමන අරමුණකින් එහි රැදී සිටින්නේ ද යන්න නොදන්නා බැවින් තමන්ගේ ජීවිතයටද එය තර්ජනයක් බව පැවසූ ඔහු ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටියේ.