Gossips

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (19) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඒ අනුව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද (18) දිනයේ ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව වත්මන් ජනාධිපතිවරයාට දැරිය හැක්කේ පරිසර හා මහවැලි අමාත්‍ය ධුරය පමණක් වන අතර, ඒ අනුව ජනාධිපතිවරයා පවරා ගත් නීතිය හා සාමය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුර සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීමට සිදුව ඇති නිසා කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු කඩිනමින් අමාත්‍ය මණ්ඩලය ද දිවුරුම් දීම සිදුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කියා සිටියේ.