Gossips

පාර්ලිමේන්තුව රැස්වීමට සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අද (18) ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වනවා.
පස්වරු 1ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර, නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති බැවින් ජ්‍යෙෂ්ඨත්වය මත මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීම සිදුවනු ඇති.
මේ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ආරම්භ වීමට නියමිතයි.
මෙහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳ අවසන් එකඟතාවකට ද පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ.
එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයන් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීමට නියමිතයි.
එසේම පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන්වලින් අනතුරුව තාවකාලිකව වසා දැමුණු මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය කොන්දේසිවලට යටත්ව අද යළි විවෘත කිරීමට ද තීරණය කර තිබෙනවා.