Gossips

විපක්ෂ නායක ගැන තීන්දුව හෙට පක්ෂ නායක රැස්වීමේදී

නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව හෙට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ, කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි ආණ්ඩු පක්ෂයේ 7 වන අසුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත වෙන් කර ඇති අතර, කථානායකවරයාගේ වම් පස පිහිටි විපක්ෂයේ නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ කථානායකවරයාගේ දකුණු පස ආණ්ඩු පාර්ශාවයේ නියෝජනය එක්සත් ජාතික පක්ෂයට ද වෙන් කර දී තිබෙනවා.
මේ අතර, හෙට පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිමට මධ්‍යහ්න 12 ට විශේෂ පක්ෂ නායක රැස්විමක් කැඳවිමට ද මෙම සාකච්ඡාවේදී තිරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව එහිදී යම් එකගතාවයකට පැමිණෙනු ඇති.
එසේම පාර්ලිමේන්තුවේ ඇති වු කළහකාරි සිද්ධියෙන් පසුව තාවකාලිකව වසා දැමු පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරියද යම් යම් කොන්දේසි වලට යටත්ව හෙට සිට යළි විවෘත කිරිමටද මෙම සාකච්ඡාවේදී තිරණය කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.
මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව අවශ්‍ය ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.
එම කමිටුවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ ගැටුම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.
මේ අතර, පාර්ලිමේන්තුවේ අද සිදුවූ ගෑස් කාන්දුව සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මන්ත්‍රී භෝජනාගාරයේ කොටසක අදාළ ගෑස් කාන්දුව සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.