Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් 23 දෙනාගේ කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි.
එහිදී ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බව එම කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ අතර, පසුගිය ජාතික ආණ්ඩුවේ නිලයන් දැරූ නිදහස් පක්ෂ ප්‍රබලයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අප සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ එය සාවද්‍ය තොරතුරක් බවයි.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන් එවැනි ඉල්ලීම් ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.