Gossips

අධික හිරු එළියෙන් ඇස්වලට හානි – වෛද්‍යවරුන් අනතුරු අඟවයි

මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වලට පෙනීමට බාධා මතුවීම හා ඇස්වල රෝගී තත්ත්වයන් හට ගැනීමේ අවදානමක් මතුවිය හැකි බව අක්ෂි විශේෂඥයින් අනතුරු අගවනවා.
හිරු එළියේ පවතින පාරජම්බූල කිරණ පොළොවට එක එල්ලේම පතිත වීම නිසා ඇස්වලට යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මේ හේතුව නිසා හිරු එළියට නිරාවරණය නොවන අයුරින් සිටින ලෙසටයි වෛද්‍යවරුන් ජනතාව දැනුම්වත් කළේ.
මේ අතර, වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 කට අයත් ලක්ෂ 3 ක ටඅධික පුද්ගලයින් සංඛ්‍යාවක් මේ වනවිට පීඩාවට පත්වී සිටිනවා.
අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එහිදී පීඩාවට පත්වූ සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකයි.
දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලූව උග්‍ර වී ඇති අතර, කුඹුරු වගාවට ද මෙම වියලි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලූවක් ඇති නොවීමට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ.
එහි සභාපති කේ.ඒ. අන්සාර් කියා සිටියේ ජල කප්පාදුවකින් තොරව ජලය සැපයීමට හැකියාව පවතින බවයි.
එමෙන්ම, වියළි කාලගුණය දැඩි ලෙස බලපා ඇති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්තු සහ අප්‍රේල් යන මාසවල හිරු දෘෂ්‍ය වශයෙන් ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් පිහිටීම මෙම තත්ත්වයට හේතුව බවයි.