එක්සත් ජාතික පක්ෂයට යළිත් එක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න පවසනවා.
සති අන්ත පුවත්පත් අද වාර්තා කර තිබුණේ ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යළිත් එම පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න එම වාර්තා ප්‍රතික්ෂේප කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 26 වන දා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහුට සහය පළ කළා.
ආනන්ද අලූත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත එම පිරිසට ඇතුළත් ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබා ගත්තා.
එමෙන්ම විජේදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද ද සහය පළ කිරීමට එක්වුණා.
ඔවුන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමට හිරු ප්රවෘත්ති අංශය කිහිප විටක් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.