Gossips

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමට ලක්ව තිබුණා.
නායක නැවි සංජීව සේනානායක සහ සුළු නිලධාරී උපුල් චමින්ද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, සුළු නිලධාරී අන්නච්චී යන අන්වර්ථ නාමයකින් ද පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.
පැහැර ගැනීමට ලක්වූ තරුණයින්ගේ ඥාතීන්ට දුරකථන ඇමතුමක් ලබාදී කප්පම් ලබා ගැනීම, ඥාතීන්ගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ල කෑම සහ තරුණයින් ඝාතනය කිරීම යන චෝදනා සුළු නිලධාරී උපුල් චමින්දට එල්ල වී තිබුණා.
නායක නැවි සංජීව සේනානායක අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණයින් පැහැරගෙන යාම, රදවා තබා ගැනීම, කප්පම් ඉල්ලීම, ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යන චෝදනා යටතේයි.
මෙම සිද්ධියේ සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුගිය දා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.