Gossips

සන්ධාන මන්ත්‍රී කණ්ඩායම, ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු පහට ආරම්භ වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මෙහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව සඳහන්.
එමෙන්ම, අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදීද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, මෙම අවස්ථාවේදී ජනමත විචාරණයකට යෑම නොකළ යුත්තක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
කෙසේ වෙතත්, ජාතික වශයෙන් වැදගත්කමකින් යුතු ගැටළුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යෑමේ හැකියාවක් පවතින බවයි ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා කියා සිටියේ.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු කළ ද, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අභිමතානුසාරි බලය තවදුරටත් ජනාධිපතිවරයා සතු බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා.