Gossips

පූර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්නැයි, හිටපු අගමැති රනිල් කළ ඉල්ලීම ඉවතට

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා බැලීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී විනිසුරු බුවනෙක අලුවිහාරේ විසින් නිවේදනය කර ඇත්තේ ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස කටයුතු කරන අවසන් දිනය අද බවයි.
එහිදී අධිකරණයේ සිටි නීතිඥයන් විනිසුරු ඊවා වනසුන්දරට සුබ පැතීමට එක්වී තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය නොමැති පූර්ණ විනිසුරු මඩුල්ලක් මේ සඳහා පත් කරන ලෙසටයි.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් නීතිඥවරුන් කරුණු දැක්වීම ආරම්භ කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී යළි ඉල්ලීමක් කර ඇත්තේ ඊවා වනසුන්දර විනිසුරුවරිය නොමැති පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙය සලකා බලන ලෙසයි.
වසර 39 ක් රජය වෙනුවෙන් සේවය කළ තමන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කරන අවසාන දිනය අද බවයි ඊවා වනසුන්දර විනිසුරුවරිය එහිදී සඳහන් කර ඇත්තේ.
මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ඊයේ දිනයේදී මෝසමක් ගොනු කරමින් ප්‍රකාශ කළේ් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නීිතිඥයින් කළ ඉල්ලීම ඉවත දමමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේම අදාළ පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.
අධිකරණ පරිශ්‍රය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා ඇති අතර, නඩුව දැක ගැනීම සඳහා දේශපාලඥයින් රැසක් ද අධිකරණ සංකීර්ණය වෙත පැමිණ ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.