Gossips

තීන්දුවෙන් පසු ලේක් හවුස් ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ කලහකාරි සිද්ධියත් සමඟ එහි ආරක්ෂාව තර කර තිබෙනවා.
කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් ඇතුලූ පිරිසක් ඊයේ පස්වරුවේ ලේක් හවුස් ආයතනය ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්තාවයක් ද හට ගත්තා.
එහිදී ලේක් හවුස් ආයතනයේ සේවකයන් සහ එම පිරිස අතර, ගුටිබැට හුවමාරුවක් ද සිදුවූ අතර එය පාලනය කළේ පොලිස් කණ්ඩායම් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද යෙදවීමෙන් අනතුරුවයි.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ දඹුල්ල ප්‍රදේශයේදී ද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් පිරිසක් අතර, නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් දඹුල්ල නගර මධ්‍යයට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමත් සමඟයි මෙම නොසන්සුන්කාරි තත්ත්වය ආරම්භ වී ඇත්තේ.
කෙසේ වෙතත්, පොලීසිය මැදිහත් වී එය සමතයකට පත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.