අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතයි.
මේ අතර, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලෙසට මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ගොනු කළා.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ තවත් මන්ත්‍රීවරුන් 121 දෙනෙකු විසින්.
මෙම පෙත්සම් මේ වනවිට විභාග කරනු ලබන්නේ ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.
එහෙත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසමෙන් ඉල්ලා ඇත්තේ ඊවා වනසුන්දර විනිසුරුවරිය නොමැති පූර්ණ විනිසුරු මඩුල්ලක් මේ සඳහා පත් කරන ලෙසටයි.
මේ අතර, මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෝසමක් ගොනු කරමින් ප්‍රකාශ කර ඇත්තේ අභියාචනාධිකරණයේ තහනම් නියෝගය සලකා බැලීම සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බවයි.